(කාංචන කුමාර ආරියදාස)
මාතලේ ලග්ගල කන්දේ පිටවල හා දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ තෝරාගත් ධීවරයන් පිරිසකට නිවාස ආධාර ලෙස රුපියල් 50000 බැගින් රජයේ චෙක්පත් මේ දිනවල දඹුල්ල ජලජීවී කාර්යාලයේ නිලධාරීන් ලබාදෙන බවට මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතා වෙත අද (22) පැමිණිල්ලක් ලැබී තිබේ.
සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා කියා සිටියේ ලග්ගල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු දුරකථන පණිවිඩයක් මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
තෝරාගත් ධීවරයන් කණ්ඩායමකට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ජල ජීවී වගා මධ්‍යස්ථානයට ගෙන විත් පසුගිය අඟහරුවාදා දිනයේ සිට අවස්ථා කිහිපයකදී රජයේ මුදල් චෙක්පත් මගින් මුදල් ආධාර ලෙස ලබාදීම සිදුකරන බවත් පැමිණිල්ලේ සඳහන්ව වේ.
මෙවැනි රාජ්‍ය මුදල් ආධාර ලෙස ලබා දුන්නේ ද යන්න දඹුල්ල ජලජීවී වගා කාර්යාලයේ කළමනාකරණ සහකාර දුමින්ද සම්පත් ඉලංගසිංහ මහතාගෙන් කළ විමසීමකදී
කියා සිටියේ පසුගිය අඟහරුවාදා සිට ඉබ්බන්කටුව ප්‍රදේශයේ ධීවර සමිති සාමාජිකයන් කිහිපදෙනෙකුට හා ලග්ගල කන්දෙපිටවල ධීවර සමිතියේ සාමාජිකයන්ට රුපියල් 50000 බැගින් වූ චෙක්පත් ලබාදීම සිදු කළ බවයි.
ධීවර අමාත්‍යාංශය මඟින් මීට පෙර නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මූල්‍ය ආධාර ධීවරයන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණු බවත් මීට පෙර මෙම ධීවරයන් හට රුපියල් 50000 ක මුදලක් ලබාදී ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට ලබාදී තිබුණු බවත් පසුව එම වැඩ අවසන් නිසා ඉතිරි රුපියල් පනස් දහසක් වටිනා චෙක්පත් ලබාදීමට ධීවර අමාත්‍යාංශය මඟින් තම කාර්යාලයට එවා තිබුණු බවයි. ඒ අනුව ධීවරයන්ට එම චෙක්පත් ලබාදීම සිදුකළ බවද හෙතෙම සඳහන් කළේය.

