බිඟුන් මේනක ගමගේ
තේ නිශ්පාදනයේදී සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කරන බවට අනාවරණය වූ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් කිරීමට තමා නියෝග කළේ යැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
අදාළ කම්හල් හිමියන්ගේ බලපත් අත්හිටුවන්නේද තහනම් කරන්නේද හෝ දඩයකට යටත් කරන්නේද යන්න එම පරීක්ෂණයේ වාර්තාව මත තීරණය වන්නේ යැයි ඇමැති දිසානායක මහතා කීය.
අදාළ කම්හල් හිමියන් හා තමා අතර පසුගිය සතියේ පැවැති සාකච්ඡාවකදී කම්හල්හිමියන්ගේ පාර්ශ්වයෙන් එල්ල කෙරුණු චෝදනා කීපයක් නිසා මෙසේ වෙනම පරීක්ෂණයක් කිරීමට තීරණය කළේ යැයි කී හෙතෙම වැරැදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු යැයි තමා පුද්ගලිකව විශ්වාස කරන්නේ යැයි ද අවධාරණය කළේය.
ඒ අනුව කම්හල්හිමියන්ගේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් සලසා දී ඇතැයි ද ඇමැති දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල , රත්නපුර හා මාතර යන දිස්ත්‍රික්කවල තේ කම්හල් 80 ක තේ මණ්ඩලය කළ හදිසි වැටලීමකින් මෙම බාල තේ නිපදවන කම්හල් අනාවරණය කෙරිණි.