තේ මිළ ඉහළ යන තුරු වැඩි පඩි නැහැ


වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරිය සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වීම නිසා  සයවන දිනයටත් වතුකම්කරුවන් සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටියි.

මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් චාන්දනී අමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්   පැවති සාකච්ඡාවේදී වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනාකර ඇත්තේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් යෝජනාවී ඇති රුපියල් දහසක   මුදල පිළිබඳව සලකා බැලීමට ලෝක වෙළෙඳපලේ තේ මිළ ඉහළයන තෙක් වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන්වූ සාකච්ඡා තරමක් ප්‍රමාදකළ යුතු බවයි.

 එතෙක් කම්කරුවන් ආරම්භකර ඇති සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරින ලෙසත් වතු වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා ඇත.  තවද සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ වතු සමාගම් වලට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත්, පවත්නා තත්වය මත තේ කර්මාන්තය කඩාවැටීමේ අවධානමකට ලක්වී ඇති බවත් වතු හාම්පුතුන්ගේ සංගමය මෙහිදී පෙන්වා දී ඇත. 

මෙම යෝජනාවට අකමැත්ත පලකළ වෘත්තීය සමිති නායකයින් සාකච්ඡා වටයෙන් ඉවත්වී නැවත මෙම සාකච්ඡාව මේ මස 15 වන දින දක්වා කල්දමා ඇත. 

වතු අධිකාරීවරුන් පෙන්වාදෙන්නේ මෙවර කම්රුවන්ට වැටුප් වැඩිකරන ලෙස යෝජනාකර ඇත්තේ 64% ක වැටුප් වර්ධකයක් බවය. එම වැටුප් වර්ධකය ලබාදුනහොත් තේ කර්මාන්තය කිසිසේත් කඩාවැටීමේ අවධානමින් ගලවාගැනීමට නොහැකි බවද වතු අධිකාරීවරුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

මෙම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ආරුමුගන් තොන්ඩමාන් මහතා ඇතුල් වෘත්තීය සමිති නායකයින් ගණනාවක් සහභාගී වී ඇති අැත.

 DSC00040 DSC00043