තේ- ඇස්බැස්ටෝස් අතර සම්බන්ධයක් ඇතැයි ඇමැති නවීන් කියයි


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමත්, ලබන ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරන්නට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනමත් අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචි ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවෙන් රුසියාවට ප‍්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ තේ වන අතර රුසියාවෙන් ශ්‍රී ලංකාව ප‍්‍රධාන වශයෙන් ආනයනය කරන්නේ ඇස්බැස්ටෝස් බව ද අමාත්‍යවරයා කීවේය.

ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන සියයට 11ක තේ අපනයනය අහිමි වීමෙන් රටේ බොහෝ දෙනෙකුට බලපෑම් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කළ යුතු බව කී අමාත්‍යවරයා මේ වන විට ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් රුසියාවේ නිෂ්පාදනය කරන සුදු ඇස්බැස්ටොස්වල සෞඛ්‍යාරක්‍ෂිතභාවය පිළිබඳ සොයාබැලීම සඳහා විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාවට යාමට නියමිත බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.