තෙවැනි මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි


සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සහ 'සයිනෝෆාම්' සහ 'සිනෝවැක්' යන චීන එන්නත් ලබා ගත් අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් මේ මොහොතේ තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එන්නතක්) ලබා දීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය මෙසේ ප්‍රකාශ කළේ එම සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කමිටුවේ නිර්දේශ අනුවය. මේ වනවිට, ඇමෙරිකාව, ඊශ්‍රායලය ආදී රටවල් බොහොමයක් එම රටවල සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව, පළමු සහ දෙවැනි 'ෆයිසර්' එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයන්ට තෙවැනි 'ෆයිසර්' එන්නත් මාත්‍රාවක් එසේත් නැතිනම් බූස්ටර් එන්නතක් ලබා දීම සිදු කරයි.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, මේ මොහොතේ කළ යුත්තේ බූස්ටර් එන්නත් දීම නොව, නියමිත පරිදි පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලොව සෑම කෙනකුටම ලබා දීම බවය. තවමත් ඇතැම් රටවල වැසියන්ට ලැබී ඇත්තේ එක් මාත්‍රාවක් පමණක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
'සයිනෝෆාම්' සහ 'සිනෝවැක්' ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි චීනයේ නිෂ්පාදිත 'කොවිඩ් 19' වයිරසයට එරෙහි සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකකි.

එසේ වුවත්, 60 වැඩි වැඩිහිටියන්ට මෙම එන්නත් ලබා දීමෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන බවත්, 'ඩෙල්ටා' වැනි විකෘති කොවිඩ් 19 වයිරස ඔවුන්ට ආසාදනය වුවහොත් එය ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට හේතු වන බවත් එම චීන එන්නත් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව, 'සයිනෝෆාම්' සහ 'සිනෝවැක්' එන්නත් ලබා ගත් 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ලෙස 'ෆයිසර්' සුදුසු බව ලෝක සෞඛය සංවිධානය පවසයි. ඊට අමතරව, අවුරුදු 15 ට වැඩි ප්‍රතිශක්තිය දුර්වල ඕනෑම කෙනකුට පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගෙන ඇති නම්, තෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' එන්නත ලබා දීම සුදුසු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

(රොයිටර්)