තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක්


ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාව ගැන පතුරන ව්‍යාජ තොරතුරු බැහැර කරන මෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
එම ආයතන නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ සැමවිටම ප්‍රමිතියෙන් යුත් ගුවන් යානා ඉන්ධන සැපයීමට කනිජ තෙල් නීතිගත සංස්ථාව වගකීමෙන් බැඳී සිටින බවයි. 
 
එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.
 
‘‘පසුගිය දිනවල ගුවන්යානා ඉන්ධන සඳහා වූ ඉල්ලුම අනපේක්ෂිත ලෙස වැඩි වූ හෙයින් සංරක්ෂිත තොග නියමිත ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පසුගිය නොවැම්බර් 28 වැනිදා පැවැති තොග සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ලක් විය. ඒ අනුව සංරක්ෂිත තොග පවත්වාගෙන යාමේ යෝග්‍ය පියවරක් ලෙස මෙට්ට්‍රික් ටොන් 14, 000ක ගුවන් යානා ඉන්ධන තොගයක් ලංකා අයි. ඕ. සී. සමාගමෙන් මිලදී ගැනීමට එම රැස්වීමේදී තීරණය විය. එම ඉන්ධන තොගය රැගත් නෞකාව කොළඹ වරායට පසුගිය 10 වැනිදා සේන්දු විය. එම නෞකාවේ ඉන්ධන සම්බන්ධයෙන් සිදු කළ පළමු සාම්පල පරීක්ෂාවේදී එකී ඉන්ධන නියමිත පිරිවිතරයන්ට අනුකූල‍ නොවන බව දැක්විණ. ඉන්ධනවලට නෞකාවේ මලකඩ මුසුව තිබීම ඊට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රමවේදයට අනුව ස්වාධීන නිරීක්ෂකයින්ගේ සහභාගිත්වය ඇතිව දෙවැනි සාම්පල පරීක්ෂාව 17 වැනිදා සිදු කරන ලදි. එම දෙවැනි සාම්පල පරීක්ෂාව සමත් විය. ඒවනවිට මලකඩ නෞකාවේ තැම්පත් වී තිබිණ. ඒ අනුව ප්‍රමිතියෙන් යුත් එම ඉන්ධන තොගය මේ වන විට මෙරටට ගොඩ බාමින් සිටී. ගොඩබාන එම ඉන්ධන තොගයේ ප්‍රමිතිය ඉහළ මට්ටමක පවතින බව නැවතවරක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණ කරන අතර සැමවිටම ප්‍රමිතියෙන් යුත් ගුවන්යානා ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගකීමෙන් බැඳී සිටින බවත් රටතුළ අස්ථාවර තත්ත්වයන් ඇති කිරීමට කටයුතු කරන පාර්ශව විසින් කරනු ලබන වැරදි ප්‍රචාර බැහැර කරන මෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයජ නතාවට දන්වා සිටී. ‘‘