තෙල් නැව අද රාත්‍රී කොළඹට


(රංජන් කස්තුරි)
 
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩුබායි රටෙන් ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 40000ක පෙට්‍රල් අඩංගු නැවක් අද මධ්‍යම රාත්‍රියේ කොළඹට ළඟා වීමට නියමිතය.
 
එම නැවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ද අඩංගු වන බව ලංකා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
 
එම තෙල් නැව අද රාත්‍රී 11.30ට කොළඹට ළඟා වීමට නියමිත  අතර නැව පැමිණි විගස රසායනාගාර පරීක්ෂණ හා වෙනත් කටයුතු රාත්‍රියේම සිදු කිරීමට කණ්ඩායම් සූදානම් කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.
 
හෙට පස්වරු දෙකට පමණ සිට දිවයින පුරා තෙල් බෙදා හැරීමට නියමිත බව අමාත්‍යංශය කියයි.