ශල්‍යාගාරවල භාවිත කරන රෙදි ආදිය නොලැබීම නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් රැසක් අද නැවතුණු බව රෝහල් ආරංචි කියයි.
පසුගිය දෙදිනේ පැවැති වැසි නිසා සේදූ රෙදි වියලී නැති බවත්, කළින් දින නියමව ඈත පළාත්වලින් ආ රෝගීන් අපහසුතාවට පත්වූ බවත් දැනගන්නට ඇත.
හදිසි සැත්කම් පමණක් ගැටළුවකින් තොරව සිදු කළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතා පැවසුවේ රෝහලේ සැත්කම් සියල්ල නිසි ආකාරව සිදු කළ බවයි. කිසිදු සැත්කමක් කල් නොදැමූ බවත් පද්මසිරි මහතා කියයි.
අවුරුදු නිවාඩුවට දුර බැහැර ගම්වලට ගිය සේවකයන් කිහිප දෙනකු පැමිණීමේ ප්‍රමාදයක් තිබුණු බවට හා මේ තත්ත්වය හෙට දිනයේ ද පැවැතියහොත් සැත්කම් නැවැත්වීමට සිදුවන බවට ප්‍රචාරයක් ගිය බවත්, මේ වන විට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දී ඇති බවත් පද්මසිරි මහතා පවසයි.

