(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත්කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ලබන මාර්තු මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය.
මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බව කියමින් තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද කළ දැනුම්දීම් සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සාක්කීදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පස්වැනි වතාවටත් සිතාසි නිකුත් කොට තිබුණත් ඔවුන් දෙදෙනා හයවැනි දිනයේද අධිකරණයට පැමිණ සිටියේ නැත.
2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇති බවට පසුගිය ජනාධිපතිවරණයට ආසන්න අවස්ථාවේ පවසමින් කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් එවර ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු වු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි ආකාරයට කටයුතු කළ බවද එමගින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකාර තිස්ස අත්තනායක මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති නඩුවේ සඳහන් කොට ඇත.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යන්තර සම්මුති පණත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.