බිඟුන් මේනක ගමගේ
තැපැල් සේවයේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සැකැසූ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට සති දෙකක් ඇතුළත කැබිනට් අනුමැතිය ලබා නොගන්නේ නම් වැඩ වර්ජනයක් දියත් කිරීමට කටයුතු කරන්නේ යැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
තැපැල් සේවයේ ගැටලුවලට විසඳුම් නොදීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේදී වැඩ වර්ජනයක් කිරීමට සූදානම් වුවත් පළාත් පාලන මැතිවරණ කටයුතුවලට බාධා පැමිණවීම නිසා මැතිවරණ කොමිසමේ ඉල්ලීම් සලකා එය මැතිවරණයෙන් පසුවට කල් තැබුවේ යැයි කාරියවසම් මහතා අවධාරණය කර කීය.
මේ අතර සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ඇමැති අනුකමිටුවක් මගින් අදාළ ප්‍රශ්න සාකච්ඡාවට ලක් කළ නිසා වර්ජනයක් දියත් කිරීම තාවකාලිකව නතර කළේ යැයි ද ඔහු පැවැසීය.
ඒ අනුව ගැටලුවලට විසඳුම් යෝජනා කරමින් විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ඒ.එච්.එම් හලීම් මහත්වරුන් විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සකස් කරනු ලැබී යැයි කී හෙතෙම විසඳුමක් වෙනුවෙන් මූලික පියවරක් හැටියට තැපැල් වෘත්තිය සමිති ඊට එකඟතාව පළ කළේ යැයි ද කීය.
එහෙත් අදාළ විසඳුම් යෝජනාවලිය පසෙක දමා තැපැල් දෙපාර්තමේන්තුව සංස්ථාවක් කිරීමට ඇතැමුන් පිඹුරුපත් සකසමින් සිටින්නේ යැයි ද තැපැල් වෘත්තිය සමිති ඊට කිසිසේත් ඉඩ නොදෙන්නේ යැයි ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තැපැල් සේවකයොත් වැඩවැරුමකට අරඅදිති
Recommended Articles