තායිවාන සිද්ධියට සම්බන්ධ ශලීල මුණසිංහගේ විදෙස් ගමන් තහනම්


(නිමන්ති රණසිංහ)
 
නිව්යෝර්ක් නුවර සිටි බැංකු මූලස්ථානයේ පරිගණක ජාලයට ඇතුළු වී තායිවාන බැංකුවකට අයත් ඇමරිකා ඩොලර් මිලියන 2.104 ක් (රුපියල් කෝටි 32ක්) වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියේ රහස් පොලීසියේ විමර්ශනවලට අවශ්‍ය ශලීල මුණසිංහ යන අයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සදහා සහාය නොදී පොලීසය මග හැර සිටින අංක 441/12 බී, 6 වන පටුමග, ඇතුල්කෝට්ටේ ලිපිනයේ පදිංචි ශලීල මුණසිංහ යන අය මත්තල හෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළවලින් විදෙස් ගත වීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙහි ඇමරිකානු ඩොලර් 1.103.980ක මුදලක් මෙරට බැංකු ගිණුමකට ගෙන්වා ගෙන වංචා කරන ලදැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ෆෙයාවේල් එපාර්ට්මන්ට්, බුත්ගමුව පාර, රාජගිරිය පදිංචි ජනක චමින්ද නම්මුණී නමැති සැකකරුවකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති සුගත් අමරසිංහ මහතා වෙත පැමිණීලි කර තිබුණේ ලංකා බැංකුවේ පුද්ගලික බැංකු සේවා අංශයේ කළමණාකරු ජගත් අනුරසිරි කුරුප්පු මහතා විසින් ඉකුත් 06 වැනිදාය.