මායි සායිහිදීය (ඒ.එෆ්.පී)
උතුරු තායිලන්තයේ චින්ග් රායි ප්‍රාන්තයේ තාම් ලුවාං නන් නොං ගල් ගුහා සංකීර්ණයේ සිරවී සිටින ඉතිරි දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයට අද (10) ආරම්භ වී තිබේ.
කෙසේ නමුත් අධික වර්ෂාව හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට තර්ජනයක් එල්ල වී ඇතැයි මෙහෙයුම් ප්‍රධානී නාරෝන්ග්සාක් ඔසොට්ටානාකෝන් පැවැසීය.
ඉතිරි වී සිටින දරුවන් සිව්දෙනා සහ පුහුණුකරු ගල් ගුහාවේ සිරවී ගත කරන 18 වැනි දිනය අද (10) වන අතර ඊයේ (9) වනවිට දරුවන් 8 දෙනකු මුදා ගැනීමට තායි නාවික හමුදාවේ ‘නේවි සීල්ස්’ භටයෝ සහ අතිදක්ෂ විදේශීය කිමිදුම්කරුවෝ සමත්වූහ.
මෙම මෙහෙයුමට විදෙස් කිමිදුම්කරුවන් 50ක් ඇතුළුව කිමිදුම්කරුවෝ 90ක් එක්ව සිටිති.
ගල් ගුහාව තුළ සිර වූ දරුවෝ ‘වයිල්ඩ් බෝර්ස්’ පාපන්දු කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෝ වෙති. ජලය පිරුණු ඉතා පටු උමං ඔස්සේ දරුවන් බේරාගැනීම සඳහා ඉරිදා (8) සහ සඳුඳා (9) යන දිනවලදී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස සඳුඳා, එනම් ඊයේ (9) රාත්‍රීය වනවිට දරුවන් 8 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්විය.
ගුහාව තුළ සිරවූ තරුණ පාපන්දු ක්‍රීඩකයන් පිරිස වයස අවුරුදු 11ත් 16ත් අතර වයස්වල පසුවෙන්නෝ වෙති. ඔවුන්ගේ පුහුණුකරු 25 වියේ පසුවෙයි. පාපන්දු පුහුණුවීම්වලින් පසුව ඔවුන් ජූනි 23 වැනිදා ගල් ගුහා පරිශ්‍රයට ගොස් තිබෙන අතර වර්ෂාව ඇද හැළීමත් ඒ සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ ඔවුහු ගල් ගුහාව තුළ සිරවූහ.
මෙම ගල්ගුහා පිහිටා තිබෙන උතුරු තායිලන්තයේ කඳුකර ප්‍රදේශයට නැවතත් වර්ෂාව ඇදහැලීම ආරම්භ වී තිබෙන බැවින් අද (10) දිනයේ මුදා ගැනීමේ මෙහෙයුම් තරමක් දුෂ්කර වී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් අද (10) සවස් වරුව වනවිට ඉතිරි දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමට කටයුතු කරන බව මුදාගැනීමේ මෙහෙයුම් වලට එක්ව සිටින පිරිස් පවසති.
“අද ඔවුන් සියලු දෙනා පිටතට රැගෙන එනවා. අද මෙහෙයුම් කටයුතු පෙර දිනවලට වඩා වේගවත්” යැයි මුදාගැනීමේ මෙහෙයුමේ ප්‍රධානී නාරෝන්ග්සාක් ඔසොට්ටානාකෝන් වාර්තාකරුවන් හමුවේ පැවැසීය.
බේරාගත් දරුවන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ද යහපත් තත්ත්වයක පවතින බව තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිත්‍ය ලේකම් ජෙඩ්සාඩා චොක්දම්රොන්ග්සක් පැවැසීය.
කෙසේ නමුත් මෙම දරුවන්ට ගල් ගුහා තුළදී කිසිදු වෛරසයක් ආසාදනය වී නැති බව තහවුරු කරගන්නා තුරු ඔවුන් නිරෝධායනය කරන බව වෛද්‍යවරුන් පවසා තිබේ.
බේරාගත් දරුවන් සියලු දෙනා ‘එක්ස් රේ’ සහ රුධිර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන අතර දරුවන් දෙදෙනකු හැරෙන්නට අන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජෙඞ්සාදා කීය. දරුවන් දෙදෙනකු නිව්මෝනියා තත්ත්වයෙන් පෙළුණු බවට ලක්ෂණ පෙන්නුම් කරන බව ජෙඩ්සාදා කීවේය.
055