ත්‍රීරෝදෙට පාලනයක් ඉල්ලයි


ත‍්‍රීරෝද රථ පාලනයට අදාල නීති හා රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය ඇතුළු තවත් සංවිධානයක් ගොනු කළ පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නොවැම්බර් 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සහ බස්නාහිර පළාත් ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සමූපකාර සමිතිය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්   පොලිස්පති ඇතුළු 10 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර සංවිධානය හා බලධාරීන් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු අංක 1848/29 සහ අංක 1821/37 දරණ ගැසට් නිවේදන මඟින් ත‍්‍රීරෝද රථ පාලනය සඳහා රජය විසින් නීති පැනවූ බවත්  මේ රෙගුලාසි අනුව ත‍්‍රීරෝද ගමනාගමනය අධීක්ෂණය කිරීමට බලලත් නිලධාරියකු පත්කිරීම සහ ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ  බලපත් පරීක්ෂා කිරීමද ඊට ඇතුළත් බව පෙත්සම්කරුවෝ කියා සිටිති. එහෙත් මෙතෙක් මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක වී නොමැති බවත් එහෙයින් ත‍්‍රීරෝද රථ අනතුරු බෙහෙවින් වැඩිවී ඇතැයිද පෙත්සම්කරුවෝ කියා සිටිති.