ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්‍


(ජයන්ත සමරකෝන්) 

බාල වර්ගයේ ලිහිසි තෙල්  ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත්  මේ නිසා ත්‍රිරෝද රථ ඇතුළු  වාහන විවිධ කාර්මික දෝෂවලට ලක්වන බවත්  දන්වමින්  සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති  සුනිල් ජයවර්ධන මහතා  අද (22) ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
 
වාහන සේවා ස්ථාන වලින්  ඉවත් කරන  ලද සඵලත්වය  අවසන් වූ තෙල් නැවත පෙරීමට  ලක් කර නියම තත්ත්වයේ  තෙල්වල  පැහැය ගන්වා ගන්වා ඉවත් කරනලද ඇසුරුම්වල පුරවා  සැබෑ නිෂ්පාදන ලෙස මුද්‍රාකර ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කිරීම  ජාවාරම්කරුවන් විසින් රිසි සේ සිදු කරගෙන යන බවද එම ලිපියේ සඳහන්ය.
 
මෙම ව්‍යාජ ලිහිසි තෙල්  බැරලයක් රුපියල් 50,000  ක් වන අතර  පිළිගත්  තෙල්  බැරලයක් රුපියල්   රුපියල් ලක්ෂයක් වන බවද ලීටරයේ ප්‍රමාණයේ බෝතල්වලට  පුරවා ඉන්ධන  පිරවුම්හල්  වාහන අලුත් වැඩියා කරන ස්ථානවල (ගරාජ) හා  වාහන සේවා ස්ථාන (සර්විස් සෙන්ටර්) සඳහා  අලෙවි කරන බවද අනාවරණය කරගෙන ඇත.
 
ලිහිසි තෙල් අනවසරයෙන්  බෙදාහරින්නන් විසින් ප්‍රති ඇසුරුම් කර සිදු කරන මෙම ක්‍රියාවලිය හේතුවෙන්  ත්‍රිරෝද  ගණනාවක්ම ගිනි ගැනීමට ලක් වූ බවද  වාහන  ලක්ෂ ගණනින්   ගාරජවල ගාල් කිරීමට සිදු වනු ඇතැයි ද එම ලිපියේ දන්වා ඇත.
 
මෙවැනි තෙල් බැරල් 15, 000  පමණ රට පුරා  බෙදා හැර ඇති බවද එම ලිපියේ සදහන් වෙයි.