ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන තීන්දුව කතානායකට


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  
 
ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් හත පිළිබඳ තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තු කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ප්‍රකාශයට පත් කළේය.
 

ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශයට පත් කළේ   ඒකාබද්ධ විපක්ෂයේ නායක   දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්.පීරිස් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උයද රෝහන් ද සිල්වා මහත්වරු  ඇතුළු හත් දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය අවසන් කරමිනි.
 
මෙම පෙත්සම් සහ අතරමැදි පෙත්සම් පිළිබඳ ලිඛිත දේශන ලබන මස 26 වැනි දින ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
 
මෙම පෙත්සම් සහ අතරමැදි පෙත්සම්   අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ  සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ අද යළි කැඳැවිණි.
 
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව පවසමින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 
මෙම විශේෂ පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් 14 ක් ගොනු කර තිබිණි.