විනීතා එම් ගමගේ
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමලය මණ්ඩපයේ වසරකට අධික කාලයක් තිස්සේ පන්ති තහනමට ලක්වී සිටින සිසුන් 103 දෙනාට වහා එම පන්ති තහනම ඉවත් කරමින් විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස එම විශ්ව විද්‍යාලයීය සන්නිවේදන හා කළමනාකරණ අධ්‍යයනය පීඨයේ ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි.
පරිපාලන අක‍්‍රමිකතාවන් හා අත්තනෝමතික කටයුතුවලට එරෙහිවීම හේතුවෙන් මෙම සිසුන්ට පන්ති තහනම පනවා ඇති බැවින් එම පන්ති තහනම අසාධාරණ යැයි ද එබැවින් ඔවුන් පන්ති තහනමට ලක්වූ හා අවවාදාත්මක ලිපි පෞද්ගලික ලිපි ගොනුවලින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි ද ශිෂ්‍ය සංගමය පවසයි.
දඬුවම් කාලය අවසන්ව ඇති සිසුන්ට පවා මහපොළ ශිෂ්‍යාධාර අහිමි කර ඇතැයි පෙන්වා දෙන එම ශීෂ්‍ය සංගමය ඔවුන්ට යළි මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීමට කටයුතු කළ යුතු බවට ද එම සංගමය ඉල්ලා සිටියි.
නැගෙනහිර විශ්ව විද්‍යාලයීය ත‍්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය විසින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ ලේකම් එස් ජේ පී සමරතුංග මහතා මේ බව කියා සිටියේය.
මේ වනවිටත් දින නියමයක් නොමැතිව තම පීඨය වසා දමා ඇති බවත් පන්ති වර්ජනයට හේතු වන ප‍්‍රශ්නවලට විසඳුම් නොදී මෙසේ මර්දනය කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙකී ප‍්‍රශ්නවලට විසඳමු සොයන්නට ඉක්මණින්ම මැදිහත් වන්නැයි රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ සමරතුංග මහතා මෙසේද පැවැසීය.
මණ්ඩපය තුළ සිදුවී ඇති උග‍්‍ර විභාග අක‍්‍රමිකතාවන්ට හා විභාග අසමත් කරවීම්වලට සාධාරණ විසඳුම් ලැබී නැහැ. ත‍්‍රිකුණාමල මණ්ඩපය තුළත් රජයේ වෙනත් විශ්ව විද්‍යාල වල පවතින සම්මත විභාග පටිපාටිය වහා ස්ථාපිත කරන ලෙසත් දේශකවරුන් පිළිබඳ පවතින උග‍්‍ර හිඟය වහා විසඳන ලෙසත් අපි බල කර සිටිනවා.
ආචාර්ය මහාචාර්යවරු මණ්ඩපය හැර යනවා. පරිපාලනය ආචාර්ය මහාචාර්යවරුන්ගේ වෘත්තියට බලපෑම් කරනවා. අපට මහාචාර්යවරුන් ගෙන් ඉගෙන ගන්නට අවස්ථාව ලබා දෙන්න කියා අපි ඉල්ලන්නේ.
මේ මණ්ඩපයේ ශිෂ්‍ය සුභ සාධන කටයුතු පිළිබඳ උග‍්‍ර ගැටළු මතුවී තිබෙනවා. මහපොළ දීමනා ගෙවන්නේ මාසික පදනමින් නොවෙයි.