ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වෙනස් කම් ගැන යුරෝපා සංගමය දැනුම්වත් කරයි


( තිළිණි ද සිල්වා)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගත් පියවර සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමර්ග පිළබදව යුරෝපා සංගමයට දැනුම්වත් කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජුනි 21 වැනි දින ගනු ලැබූ තීරණය පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දුන් බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව රජය විසින් පත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය (16) දෙනෙකුට ඉකුත් ජුනි 24 වැනි දින සමාව ලබා දීම පිළිබඳව ද යුරෝපා සංගමය දැනුවත් කළ බවද අමාත්‍යාංශය සදහන් කර සිටී.