ත්‍රස්ත ප්‍රහාරය ගැන හොයන්න ඉන්දියාවෙන් පිරිසක් ලංකාවට


 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා ඉන්දියාවේ ක්‍රියාත්මක ජාතික විමර්ශන ඒජන්සිය හෙවත් එන්.අයි.ඒ නිලධාරීන් කණ්ඩායමක් අද (30) දිවයිනට පැමිණ ඇත.

ඉන්දීය පොලිස් ප්‍රධානී ආලෝක් මිතාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශන සඳහා දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ අයි.එස් ත්‍රස්තවාදීන් ඉන්දීයාව සමඟ පවත්වා ඇති බව කියන සබඳතා පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීම සඳහා මෙම නිලධාරීන් කණ්ඩායම දිවයිනට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවට එල්ල වූ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර ඉන්දීයාවට එල්ලවීම වැළැක්වීම මෙම විමර්ශනවල අරමුණ වී ඇත.

ජාතික තව්හීත් ජමාද් සංවිධානය සහ ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් සහරාන් ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්තවල පුද්ගලයින් සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳවද මෙහිදී තොරතුරු සොයා බැලීමට නියමිතය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් ඉන්දීයාවේ සංචාරය කර ඇති බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව ද ඉන්දීය විමර්ශන කණ්ඩායම අවධානය යොමු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

(125)