තවුහිත් ජමාත් තවත් කඳවුරක් නුවරඑළියේ


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ රංජිත් රාජපක්ෂ )

තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු  කදවුරක් සොයාගත් බව පොලීසිය කියයි.

මරාගෙන මැරෙන කල්ලියට සම්බන්ධ සහරාන්ගේ අනුගාමිකයින් අතර සිටි බෝම්බ සෑදීම හා ඒ පිළිබඳ තාක්‍ෂණික උපදෙස් ලබාදුන් පුද්ගලයා ලෙස සැලකෙන මෙම සැකකරු කාන්තාන්කුඩි පදිංචි 24 වියැති සැකකරු ගෙන් රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබාගත් තොරතුරු මත ඊයේ දිනයේදී මෙම නිවස සොයාගන්නා ලදී. 

දින ගණනාවක් සිට මෙම නිවස පිළිබඳව ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නිවස සොයාගෙන තිබේ.

මෙම නිවස සොයා ගැනීමට සහය දැක්වූ 24 වියැති මෙම සැකකරු සහරාන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පන්තියකට මෙම දෙමහල් නිවසේදී සහභාගී වූ බවත්, ඒ සඳහා 35 දෙනෙකු පමණ සහභාගී වූ බවද සඳහන් කර ඇත. 

පාස්කු දින ජීවිත හානි සිදුකොට මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන්ද මෙම පුහුණුවට සහභාගී වූ බව අදාළ සැකකරු විසින් ප‍්‍රකාශ කර ඇත. සුදු පැහැති දෙමහල් නිවසක මෙම පන්ති පැවැත්වූ බවත්, මෙම පන්තිය සඳහා අලුයම 4.30ට පමණ නුවරඑළියට පැමිණි සාමාජිකයින් වෑන් රථ 2 කින් අදාළ දෙමහල් නිවසට කැඳවාගෙන ගොස් ඔවුනොවුන් කිසිවෙකුට කතා කිරීම තහනම් කොට අවි පුහුණුවක්ද ලබා දුන්බවට තොරතුරු අනාවරණය  වී ඇත.

මෙම නිවසේ තිබී නුවරඑළියේ සිතියම් 03ක් ද බුද්ධි අංශය විසින් සොයා ගත් අතර  රාජ්‍ය බුද්ධි අංශය විසින් අදාල සැකකරු නුවරඑළියට රැගෙන පැමිණීමෙන් පසු මෙම නිවස සොයා ගැනීමට ආරක්‍ෂක අංශ වලට හැකි වී ඇත. අප්‍රේල් මාසයේදී මෙම නිවසේදී ත‍්‍රස්තවාදීන් විසින් පන්ති පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වේ. 

සහරාන් ඇතුළු කණ්ඩායමට පන්ති පැවැත්වීමට වක‍්‍ර ආකාරයෙන් දායකත්වය දුන් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ගම්පොල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම නිවස බදු මත මාස ගණනාවක් සිට පවත්වාගෙන යන්නක් බවට වාර්ථා වෙන අතර, එම බදුකරුගෙන්ද ප‍්‍රශ්න කිරීමට පොලිසිය පරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි. 

(ඡායාරූප රංජිත් රාජපක්ෂ )

 ( ඡායාරූප  ෂෙල්ටන් හෙට්ටිආරච්චි)