තව්හීත් ජමාත් තහනම් කරන්නැයි ඉල්ලා මුස්ලිම්වරුන්ගෙන් සංදේශයක්


ඩබ් ඒ පියතිලක
 
පොලොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි  29 ක මවුලවිවරු සහ එම පල්ලිවල ලේකම්වරු හා සභාපතිවරු අද (25) පොලොන්නරුව  පළාත බාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි ඒ. පි  ධම්මික  වීරසේකර මහතාට සංදේශයක් බාර දුන්නේය.  

පොලොන්නරුවේ තව්හීත් ජමාත්  සංවිධානයට අයත් මුස්ලිම් පල්ලි තුන සහ ලංකාව තුළ පිහිටි  එම සංවිධානයට අයත් පල්ලි වහාම තහනම් කරන ලෙස ඉල්ලා  ඔවුහු එලෙස සංදේශයක් ලබාදීම සිදු කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස්  දැක්වු පොලොන්නරු දිස්ත්‍රික් මුස්ලිම්  පල්ලි සම්මේලනයේ  සභාපති  එස් .ඒ.ඒ. සමග් මෙසේ කීය.

‘අපි දැන් පොලොන්නරුවේ අවුරුදු 80ක් 100ක් පමණ කාලයක ඉදලා පදිංචිව සිටිනවා. පොලොන්නරුවේ මුල්ලිම්, දෙමළ සහ සිංහල තුන් ගොල්ලම ජිවත් වෙනවා. නමුත් කවදාවත්  අපි තුන්ගොල්ල අතර කිසිදු ප්‍රශ්නයක් හෝ ගැටුමක් මෙතෙක් කල් සිදු වෙලා නෑ. යම් ප්‍රශ්නයක් වුණා නම් වුණේ මේ තව්හීත් ජමාත් සංවිධානය ආරම්භ විමත් එක්ක තමයි. මෙම සංවිධානය අපේ රටේ ලියා පදිංචි වෙලාත් නෑ.  අපි වසර ගණනක් එක්මුතුව එක්සත්ව  ජිවත් වුණා.  පසුගිය දා සිදුවූ සිදුවිම් මාලාවත් එක්ක රටේ සියලුම මුස්ලිම් ජනතාව  දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.’  

මෙම අවස්ථාව සඳහා මව්ලාවරු සහ මුස්ලිම් පල්ලිවල  සභාපතිවරු සහ ලේකම්වරු සහ පොලොන්නරුව  පළාත භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි ඒ පි  ධමිමික  විරසේකර මහතා සහ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා ඇතුළු  උසස් පොලිස් නිළධාරින්  ද පොලොන්නරුව පොලිස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක එම්  එස් එම් ජරැල් මහතා ද සහභාගි වි සිටියහ.