තව්හීත් ජමාත්-ජමාතෙයි මිල්ලතු සංවිධාන තහනම් කරයි


(හර්ෂණ තුෂාර සිල්වා)
 
ජාතික තව්හීත් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙක ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
 
2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පියවර ගෙන තිබේ. 
 
එම පියවර සහ ක්‍රියාමාර්ගවලට අනුව එම සංවිධානවලට අයත් සියලු දේපළ මෙන්ම එම සංවිධානවල ක්‍රියාමාර්ග අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගනු ලැබ තිබේ. 

මේ අතර ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. 140කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ ජාතික තව්හීත්  ජමාත් සංවිධානය තහනම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා පැවැසීය.
 
ජාතික තව්හීත් ජමාත් සංවිධානය ඇතුළු අන්තවාදී සහ ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව පියවර ගැනීමට දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී නව අණ පනත් ගෙන එමින් එවැනි සංවිධානවලට එරෙහිව පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදි පැවැසීය