තවත් සංවේදී පරිසර කලාප 4ක් නම්කෙරේ


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති හතරක් අලුතින් හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන ඇති මෙම කලාප මේ වන විටත් සංවේදී පරිසර කලාප වශයෙන් නම් කර ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙරට සංවේදී පරිසර කළාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩ පිළිවෙළක් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

මින් පෙර හඳුනාගත් සංවේදී පරිසර කලාප නම් කර නොතිබීම නිසා සංවර්ධන ව්‍යාපෘති වලදී එම පද්ධතීන්ට හානි සිදුවූ අවස්ථා ද ඇතැයි කී ලේකම්වරයා නව වැඩ පිළිවෙළ යටතේ සංවේදී පරිසර කළාප හඳුනාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබෙන බව ද පැවසීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශෙයේ ජෛව විවිධත්ව ඒකකය මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා කීවේය.

ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීමට පහසු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණ බව ද ලේකම්වරයා පැවසීය.