තවත් දුම්රිය වර්ජනයක් අත ළඟ


(පද්මිණි මාතරගේ)

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම අනියම් ආදේශක සේවකයන් වහා ස්ථිර නොකළහොත් තවත් දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම්ව සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි.

මෙම සේවක අර්බුදයට විසඳුම් ලබා ගැනීම සදහා කඩිනම් සාකච්ඡාවක්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බව ද එම වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්. පී. විතානගේ මහතා පවසයි.

වසර පහකට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල 1500 කට ආසන්න අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින් සිටින බවත්, ඔවුන් සේවයේ ස්ථිර නොකර, අලුතින් තවත් සේවකයින් පිරිසක් බදවා ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා චෝදනා කර සිටි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන අදාළ සේවකයින් සේවයේ ස්ථිර කිරීමෙන් පසු, පවතින පුරප්පාඩු අනුව තවත් සේවකයින් බඳවා ගන්නේ නම් සිය වෘත්තීය සමිති සන්ධානය ඊට විරුද්ධ නොවන බව ද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප්‍රවාහන ඇමැතිවරයාට එම වෘත්තීය සන්ධානය ලිපියක් ද යවා ඇත.

එහෙත් එසේ නොකර තවත් වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට දේශපාලන පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් තවත් දුම්රිය වැඩ වර්ජනය කිරීමට සිදුවන බවත්, එවැන්නකට ඉඩ නොතබා වහාම කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.