තවත් කොටි නිල ඇඳුමක් සමඟ බෝම්බයක් හමුවෙයි



 
රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක් හා බෝම්බයක් සිදු කරන ලද කැණීමකින් හමු වූ බවට මුලතිව් පොලීසිය පවසයි.


අදාළ ස්ථානයේ ඊයේ දින කැණීම් කිරීමට පෙර මුල්ලිවයික්කාල් ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් තිදෙනෙකු මෙම ස්ථානයේ දී පසුගිය ජුනි 20 වැනි දා කැණීමක් සිදු කළ අතර එහිදී එම ගුවන් හමුදා නිලධාරීන් නීත්‍යානුකූල අවසරයකින් තොරව කැණීම සිදු කළ නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලීසිය පියවර ගනු ලැබීය.


පසුව අදාළ ගුවන් හමුදා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරට අනුව ඒ බව මුලතිව් පොලීසියට හා මුලතිව් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකින් එම ස්ථානයේ නැවත කැණීම් සිදු කරනු ලැබීය.


පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කරන ලද කැණීම් වලදී අඩි 5 ක් පමණ පොළව හෑරීමෙන් පසුව කොටි සංවිධානයේ නිල ඇඳුමක් සහ කොටි සංවිධානය විසින් නිෂ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති බෝම්බයක් හමු වූ බවට මුලතිව් පොලීසිය පවසයි.


මීට පෙරද මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් තිබූ කොටි නිලඇඳුම්, කොටි කොඩි හා බෝම්බ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්විණි.