
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) හමුවට මේ සතියේදී කැඳවීමට එම කමිටුව තීරණය කර ඇත.
මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධානීන් අනිද්දා (10) දිනයේද සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් ලබන 11 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවෙනු ඇත.
එම ආයතන දෙකේ සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති තොරතුරු ගැන කරුණු විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් කෝප් කමිටුවට මෙසේ කැදවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පසුගිය සතියේදී කැඳවනු ලැබූහ. පවතින සෞඛ්‍යමය තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කමිටු රැස්වීම්වලට සීමිත නිලධාරින් පිරිසක් පමණක් පිටස්තරින් කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.

