තව වසර 25කින් ලොකු රැකියා හිඟයක්


(විමුක්ති එස් රුද්‍රිගු)

බිලියන 8 කටත් වඩා වැඩි ලෝක ජනගහණයෙන් සියයට 85 කටත් වඩා වැඩි ප්‍රතිශතයක් 2050 වසර වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වනු ඇතැයි ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා පසුගියදා පැවැති 2025 වාර්ෂික රැස්වීම් පූර්ණ සැසියේදී ප්‍රකාශ කළේය.

මීළඟ වසර 10ත් 15ත් අතර කාලයේදී කෝටි 120 ක තරුණ ප්‍රජාවක් ශ්‍රම වෙළෙඳපොළට පැමිණෙනු ඇති බව පැවසූ අජේ බංගා මහතා ශ්‍රම වෙළෙඳපොළට පැමිණෙන කෝටි 120 ක තරුණ ප්‍රජාව සඳහා තිබෙන්නේ රැකියා කෝටි 40 ක් පමණක් බව සඳහන් කළේය.

මෙම විශාල රැකියා හිඟය තවත් ආකාරයකට අර්ථ දක්වනවා නම් ඉදිරි වසර 10 කාලයේදී සෑම තත්පර හතරකටම තරුණ තරුණියන් සිවු දෙනකු ශ්‍රම වෙළෙඳපොළට රැකියාවක් අපේක්ෂාවෙන් පැමිණි ඇතැයි බංගා මහතා ප්‍රකාශ කළේය.

2050 වසර වනවිට සෑම තරුණ තරුණයන් සිවු දෙනකුගෙන් එක් අයකු අප්‍රිකානු ජාතිකයකු වනු ඇති බවත් වැඩිම ජනගහන වර්ධන වේගයක් තිබෙන්නේ අප්‍රිකාවේ බවත් බංගා මහතා පැවැසුවේය. සැමීබියාව සෑම වසරකම ලෝක ජනගහණයට ලක්ෂ 7 ක් එකතු කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව දැනටමත් අනාගතයේදී ඇතිවන විශාල රැකියා හිඟයට සූදානම් වීම සඳහා ක්‍රියාත්මක වීම ආරම්භ කර ඇති බවත් සියලු දෙනාටම ඒ සඳහා ක්‍රියාත්මක වීමට කාලය එළැඹ ඇති බවත් ලෝක බැංකු සභාපතිවරයා පැවැසුවේය.