තලේබාන් සංවිධානයෙන් ප්‍රහාරයක් : 30ක් මරුට


කාබුල්හිදීය (රොයිටර්)

තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 


ඇෆ්ගනිස්තානයේ බස්නාහිර පෙදෙසේ පළාතක් වන බද්ගිස්හිදි මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය ‘ඊද් අල් ෆිතර්’ හෙවත් රාමසාන් උත්සවය වෙනුවෙන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර ප්‍රකාශයට පත් කෙරුණු සටන් විරාමයෙන් පසු එල්ල වූ පළමු ප්‍රහාරයයි. තෙදින සටන් විරාමය අවසන් වූයේ ඉකුත් ඉරිදා (17)ය. 

ආරක්ෂක අංශ මුර කපොළු දෙකකට අද (20) ප්‍රහාර එල්ල වූ බව බද්ගිස් පළාතේ ආණ්ඩුකාර අබ්දුල් කෆූර් මලික්සායි පැවැසීය. 


සටන් විරාමය ඉරිදා (17) අවසන් වුවද ඇෆ්ගන් රජය ඒකපර්ශවීයව සටන් විරාමය අද (20) දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළේය. ඒ අනුව සටන් විරාමය දින 10ක් දක්වා දීර්ඝ කෙරුණි. 

සටන් විරාමය සමයේදී තලේබාන් සටන්කාමීන් ඇෆ්ගන් නරගවලට පැමිණ ආරක්ෂක අංශ හා එක්ව ඡායාරූප ගනිමින් ‘රාමදාන්’ සැමරීම වැඩි අවධානයකට ලක්ව තිබිණි. සටන් විරාමය සමයේදී ඇති වූ මෙම සමගිය සහ සහයෝගීත්වය සාමය කරා ගෙන යා යුතු යැයි ඇෆ්ගන් රජය ප්‍රකාශ කළේය.

055