තලවකැලේ වතුකම්කරු පවුල් 33 ක් ආරක්ෂිත ස්ථානවලට



 
රංජිත් රාජපක්ෂ              

තලවකැලේ පොලිස් වසමට අයත් ඩෙරික්ලෙයාර් වතුයායේ වතු නිවාස ගණනාවක් නායයෑම හා ගිලා බැසීම හේතුවෙන් එහි පදිංචි පවුල් 33 ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව එම වතුයායේ පාලන අධිකාරිය කියයි.


පසුගිය දින කිහිපය තුළ තලවකැලේ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඊයේ (22) අලුයම නිවාස තුනක් ගිලා බැසිමට පටන් ගෙන ඇති අතර පසුව ඒ අසලම තවත් නිවාස හතරක් ගිලා බැසිමට පටන් ගැනීමත් සමඟම එම ගිලා බැසිමට ලක්වන නිවාස වලට පහතින් පිහිටි වතු නිවාස 25 කට අයත් සාමාජිකයන් 100 ට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට පියවර ගත් බව වතුයායේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා පැවසීය.


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ආසන්නයේ හා සෙනක්ලෙයාර් දිය ඇල්ලේ නැරඹුම් මැදිරියට ආසන්නයේ පිහිටි ගිලා බැසීමට සහ නායයාමේ අවදානමට ලක් වි ඇති නිවාස යටින්  විශාල ජල පහරක් ගලා බසින බවත් වතු අධිකාරිවරයා කීය.


මෙම නායයෑමේ අවදානමට ලක් වී ඇති වතු නිවාසවලට හා ප්‍රධාන මාර්ගයට ඉහළින් බදුල්ල කොළඹ දුම්රිය මාර්ගය ද පිහිටා තිබේ.


ගතවු දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මේ වන විට පහව ගොස් ඇත.