(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ පොලිස් වසමට අයත් හොලිරුඩ් වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 24 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.
එක් නිවසක හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගොස් තිබූ බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කියා සිටියේය.
දුරකථනයක් විදුලි මේනුවකට සම්බන්ධ කර තිබියදී ඉන් ඇති වු විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවට තලවකැලේ පොලිසිය සැකකරයි.
නුවරඑලිය මහ නගර සභාවේ සහ තලවකැලේ ලිදුල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, තලවකැලේ පොලිසිය , යුද හමුදා , පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සහ වතුකම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් ගින්න දරා පාලනය කර ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් හානි වී නොමැත.
ගින්නෙන් පවුල් 24 කට අයත් සමාජිකයන් 71 දෙනෙකු අවතැන් වී සිටින අතර ඔවුන් හොලිරුඩි දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇත.
ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ යටිතල පහසුකම් ලබාදීමට තලවකැලේ ලිදුල නගර සභාව, වතු පාලන අධිකාරිය සහ ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගිනිගත් වතු නිවාස පේළිය කඩා වැටීමේ අවදානමක පවතින බව පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් තලවකැලේ හොලිරුඩ් වතුයායේ වතු නිවාසවලට ලබා දී තිබු විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇත.








(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)





(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)

