තලතා අතුකෝරළ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමට


දේශපාලන පළිගැනීම් විමර්ශන ඒකකයට ...

(දසුන් රාජපක්ෂ)

වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (24) පෙනී සිටියාය.

එමෙන්ම එම පැමිණිල්ලට අදාළව අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ මහත්මියද මෙම ජනාධිපති කොමිසම හමුවේ අද (24) පෙනී සිටියහ.

මෙම වගඋත්තරකරුවන් තිදෙනා එලෙස මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධියට  අදාළව අසත්‍ය සාක්ෂි යටතේ තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කොට ඇත්තේ දේශපාලනික පළිගැනීමට බව සඳහන් කර එමිල් රංජන් ළමාහේවා මහතා මෙම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලට අදාළවය.

මෙම පැමිණිල්ලට අදාළව තලතා අතුකෝරළ , පූජිත් ජයසුන්දර සහ ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඔවුන්ට මෙම ජනාධිපති කොමිසම හමුවේ අද (24) පෙනී සිටින ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මීට ඉහතදී නියෝග කර තිබුණි.

මෙම පැමිණිල්ල අද (24) යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඩුල්ල කොමිසම හමුවේ ප්‍රකාශ බලාදීම සඳහා සිය සේවාදායකයන්ට පැමිණිල්ලේ සාක්ෂි සටහන්වල පිටපත් අවශ්‍ය බව දන්වා සිටියේය.