තරුණයින් දෙදෙනකුට පහර දුන් ආවා කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට


 (රොමේෂ් මධුෂංඛ)


යාපනය කොකුවිල් බටහිර ප්‍රදේශයේදී අද (10) දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට පහරදීමෙන් එම තරුණයින් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පහරදීමට පැමිණි පිරිසෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.


කොකුවිල් බටහිර අරුගල්මඩම් ප්‍රදේශයේදී මෙම පහරදීම සිදු කර ඇති අතර යතුරුපැදි දෙකකින් පැමිණි පස් දෙනෙකුගෙන් යුත් කණාඩායමක් විසින් මාර්ගයේ ගමන්කරමින් සිටි තවත් තරුණයින් දෙදෙනෙකුට පහරදී ඇත. 
පහරදීම සිදු කරන අවස්ථාවේදී යාපනය පොලිස් නිලධාරීන් පිරිසක් විදි මුරසංචාරයක නිරතව සිට ඇති අතර එම නිලධාරීන් විසින් පැමිණි යතුරු පැදියක් සහ එහි සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.


පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කොකුවිල් අරුගල්මඩම් ප්‍රදේශයේ පදිංචි බාලසිංහම් පහීධරන් හා රාසයියා ධනුජන් වන අතර ඔවුන් යාපනය රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති.


අදාල පහරදී ගැනීමට සම්බන්ධ වූ පිරිස් යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ සහ ධනුරොක් කල්ලිවල සාමාජිකයින් බවට සැකකරන අතරම පසුගිය දිනවලදී මෙම කල්ලි දෙක අතර අවස්ථා කිහිපයකදී ගැටුම් ඇති වූ බවටද වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.