තරුණයාට පහර දුන් ඒඑස්පී ගැන වාර්තාවක් ඉල්ලයි


(ඉන්දිකා රාමනායක)

හම්බන්තොට විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් තරුණයකුට හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා ප්‍රසිද්ධියේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක්  කැඳවා ඇත.

හම්බන්තොට  වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ග කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට  එරෙහිව හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා එම විරෝධතාව පැවැත්විණි.

එහිදි අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා පහර දී තිබිණි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ  මෙම පහර දීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  මාධ්‍ය මගින් ප‍්‍රචාරය වු  වාර්තා කෙරෙහි අවධානය යොමුකර  මෙම පියවර ගත් බවයි.

මෙම වාර්තාව ඉදිරි දිනවල දී තමන් වෙත ලැබෙනු ඇති බවත් එම වාර්තාවේ අඩංගු කරුණු අධ්‍යනය කර අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගන්නා බවද ලේකම්වරයා පැවසීය.

පොලිස් කොමිසමේ මෙම වාර්තාවට අමතරව  ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම විරෝධතාවේදී පුද්ගලයින් 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබු අතර  ඉහත  තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටින අතරතුර මෙම සහකාර පොලිස් අධිකාරිවරයා එම ස්ථානයට පැමිණ තරුණයාට වැරෙන් පහරක් එල්ල කරන අයුරු විද්‍යුත් මාධ්‍ය රැසක ප‍්‍රචාරය විය.