තරුණයන් තිදෙනෙකු ඝාතන කළැයි පාතාල සාමාජිකයෙක්ට මරණ දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)

නව යෞවන වයසේ පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා  අද  (20) මරණ දඬුවම් නියම කළේය.

කිසිඳු සිද්ධියකට සම්බන්ධයක් නොමැති අවුරුදු 16, 17 සහ 18 නව යෞවන වයස්වල පසුවු අහිංසකයින් බව කියන තරුණයින් තිදෙනාට මීට වසර 02කට ඉහතදී වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී  ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වුයේ මොහොමඞ් රවුෆ් මොහොමඞ් හිල්මි හෙවත් ගමා නැමැත්තාටය. 

මෙම විත්තිකරු සමගම චෝදනා ලැබ සිටි මොහොමඞ් සාදික් මොහොමඞ් අන්දාම් නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු නිදොස් කොට නිදහස් කළේය.

2006 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී යෞවන වයස්වල පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඔවුන්ගේ මරණ සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පාතාල සමාජිකයින් බව කියන විත්තිකරුවන් ඔවුන්ගේ විරුද්ධවාදීයකු ඝාතනය කිරීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවත් ඒ අවස්ථාවේදී විරුද්ධවාදීයා ඒ අසල තිබු ආවරණයකට මුවා වීම නිසා ඔහු වෙඩි පහරවලින් ගැලවී ඇති බවත් ඒ අසල සිටි නව යෞවන වයස්වල පසුවු අහිංසකයින් බව කියන තරුණයින් තිදෙනාට වෙඩි වැදී එතැනදීම මියගොස් ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.

ඉදිරිපත් වු සාක්කි අනුව එක් විත්තිකරුවකුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ෂාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් ඔහු නිදහස් කළ විනිසුරුවරයා මොහොමඞ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැති විත්තිකරුට එරෙහි චෝදනා  පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔහුට මරණීය දඬුවම් නියම කළේය.