
(නිමල කොඩිතුවක්කු)
පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයකු විසින් එක්සත් ජාතික පක්ෂයේ රුපියල් 1000 සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිලිබඳ කනගාටුව පළ කරන බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙය එම සාමාජිකත්වය ලබාගත් සියලු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයක් බවත් සිය නිවේදනය මගින් ජයසූරිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද වේ.
හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්තමාන විනාශයට වගකිවයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අපගේ අවධානයට ලක්ව තිබේ.
එබැවින් කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික පතෙහි පිටපතක් මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.
- (2020 වසර සඳහා නව සාමාජික පතක් පක්ෂය විසින් මුද්‍රණය නොකරන ලද අතර 2019 වසර සඳහා මුද්‍රණය කළ සාමාජික පත් පක්ෂයේ මහලේකම්වරයා විසින් ස්වකීය නිල මුද්‍රාව තබා අත්සන යෙදීමෙන් පසු 2020 වසර සඳහා වලංගු සාමාජික කාඩ්පත් ලෙස පිළිගන්නා ලදි.)
මේ අතර පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේ 1000M සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කණගාටු වන්නෙමු. එය 1000M වැඩසටහන පිළිබදව විශ්වාසය තබා පක්ෂ සාමාජිකත්වය ලබා ගත් සියළු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයකි.
2000 වසරෙන් පසු ඇරඹි 1000M සාමාජිකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොකරන ලද නමුත්, යාවජීව සාමාජිකත්වයක් ලෙස පිළිගතයුතු බවට ඒ සඳහා පුරෝගාමී වූ සියලු පක්ෂ නිලධාරින් එකඟත්වයකට පැමිණියහ. පක්ෂයේ වාර්ෂික සාමාජික මුදල රුපියල් 20 ක් වන අතර එහි පනස් ගුණයක් වන රුපියල් 1000 ක සාමාජික මුදල් එකවර ගෙවීමෙන් ලැබෙන 1000M සාමාජිකත්වය (20 X 50) ලෙස සළකා වසර 50 ක් වලංගු සාමාජිකත්වයක් ලෙස සැළකිය යුතු බව සියලු නිලධාරීන් එකඟ වූ පදනමයි. එලෙස 1000M සාමාජිකත්වය ලබන සාමාජිකයෙකු එම වසර තුළ තවත් රුපියල් 11000 ක මුදලක් පක්ෂ අරමුදල වෙත පරිත්‍යාග කර 1000M යාවජීව සාමාජිකත්වය තහවුරු කගනු ලබයි.
හිටපු පක්ෂ සභාපතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 1000M සංකල්පය ක්‍රියාත්මක කරලීමෙහි ලා සක්‍රිය කාර්යභාරයක් ඉටුකළ අතර, වර්තමානයේදී ද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මැතිතුමා 1000M ව්‍යාපෘතියේ වගකීම් රැසක් උසුලන ලදි.
යාවජීව සාමාජිකත්වය පිළිබඳව වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා එම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇමතීම වඩාත් යෝග්‍ය වන අතර පක්ෂයේ ගමන් මග පිළිබඳව අවබෝධයෙන් තොර දේශපාලන ළදරුවන්ගේ අදහස් අදාල නොවනු ඇත.

