තර්ස්ටන් විදුහල්පතිට ඇප


(නිමන්ති රණසිංහ)

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියදී 2012 වර්ෂයේ පළමු ශ්‍රේණීයට සුදුසුකම් සැපිරූ දරුවකු එම විද්‍යාලයට ඇතුළත් කර නොගෙන අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද කළැයි අල්ලස් චෝදනා ලැබූ තර්ස්ටන් විද්‍යාලීය විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා  හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (28) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අද චෝදනා කියවා දෙනු ලැබීමෙන් පසු තමන් නිවැරදිකරු බවට චුදිත විසින්  සදහන් කරනු ලැබූ අතර චුදිත වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අනුව නඩුවේ පළමු සහ දෙවැනි සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කළ අධිකරණය ලබන පෙබරවාරි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ඔවුන්ට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව චූදිතට එරෙහිව චෝදනා දෙකක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නඩු පවරනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදාය.