තඹුත්තේගම පොලිසියට ගල්ගැසූ 59 ක් අත්අඩංගුවට


උපාලි ආනන්ද

පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක් අද (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
 
මෙම විරෝධතාවය අතරතුර තඹුත්තේගම පොලිසියේ දේපල වලට  පහරදීම අලාභ සිදු කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 59 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී තිලිණ හේවා පතිරණ මහතා ලංකාදීපයට පැවසීය. 
 
නීති විරෝධී ලෙස මහජන සාමය කඩවන අයුරින් පාදෙණිය අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධ පමුනුවමින් කලහාකාරී ලෙස හැසිරී තඹුත්තේගම පොලිසියේ දේපල වලට හානි කළ බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් කළේය. 
 
සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට (1)  තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම ඒ මහතා කීවේය.

ඡායාරූප - දයාරත්න ඇඹෝගම