(මොහොමඩ් ආසික්)
තැපැල් සේවක ගැටළු විසඳීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති නිසා තමන්ව විශ්වාස කර සේවයට වාර්තා කරන්නැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්.ඒ හලීම් මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටින තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.
තැපැල් වෘත්තිය සමතිවල මෙහෙයවීමෙන් ඊයේ (11) සවස සිට ක්‍රියාත්මක වී ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හලීම් මහතා මෙසේද කීය.
‘‘වෘත්තිය සමිති වැඩියෙන්ම තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේයි. වර්ජනයක් ගැන කතා කරන කොට හැමෝගෙම මතකයට එන්නේ තැපෑලයි.
නමුත් අපේ රජය බලයට පත් වුණාට පස්සේ මේ සේවකයින් එතරම් වර්ජනයේ යෙදිලා හිටියේ නෑ. ඒකට හේතුව අපි ඔවුන්ගේ ඉල්ලිම් ගැන හොයල බලල අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
ඇත්තටම කියනවානම් අපි පවුලක් හැටියටයි කටයුතු කරන්නේ. මම මේ අයගේ ප්‍රශ්නය පිළිගත්තා.ඒවගේම එම ගැටළු විසඳන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට යෙදී සිටින පිරිස පසුගිය පළමුවන දා පැවැති සාකච්ඡාවට සහභාගි වුණා. මේ ප්‍රශ්නය විසඳන බව ඒ අය දන්නවා.නමුත් මොනයම් හෝ හේතුවක් නිසාදෝ මේ අය වෘත්තිය ක්‍රියාමාර්ගයට බහින බවයි අපට හිනෙත්නේ.
එහෙම කරන්නේ නැතිව මේ ගැටළුව තව සතියකින් විසඳන්න බලාපොරොත්තු වන නිසා සේවයට වාර්තා කරන ලෙස අපේ සහෝදර නිලධාරින්ගෙන් මම ඉල්ලා සිටිනවා.
අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඇති වුණ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේවා කාලාන්තරයක් තිස්සේ තිබුණ ප්‍රශ්න.අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේ ප්‍රශ්න විසඳන්න යම පියවරක් අරගෙන තියෙන්නේ.
නමුත් අපේ ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳිම සඳහා සියලු පාර්ශව එක මේසයට ගෙනල්ලා සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තියලා සියලු දෙනා සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.‘‘