තමන් දුර්වල නොකරන්නැයි ජනපති අගමැතිගෙන් ඉල්ලයි


මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.
 
තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට  කටයුතු නොකළ යුතු බව ද  ජනාධිපතිවරයා අගමැති  සහ පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන්  අද ඉල්ලා සිටියේය. 
 
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
 
2014 වසරේ තමන් පැවති රජයෙන් ඉවත්වූ විට එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමාට චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා තමා එම කිසිදු පාක්ෂිකයෙකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා ද්‍රෝහි වන්නේ වංචාවට හා දූෂණයට බව ද කීවේය.
 
‘‘අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දුන්නේ නෑ. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතුවා. ඒ බව මා හොඳින් දන්නවා.  ‘‘

ඡායාරූප සහ වීඩියෝ - ජනාධීපති මාධ්‍ය අංශය