තමන් ඇතුළු පිරිස නිවරදිකරුවන් යැයි නිශ්ශංක සේනාධිපති කියයි


(මනෝප්‍රිය ගුණසේකර)
 
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්‘ පවත්වාගෙන යෑමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් යැයි ‘ඇවන්ට් ගාඩ්‘ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද  (02)  කියා සිටියහ.

 
නඩුවේ චෝදනා කියවා දීමෙන් අනතුරුව එම චෝදනාවන්ට  විත්තිකරුවන් වරදකරුවන්ද? නිවැරදිකරුවන්ද? යනුවෙන් විමසු අවස්ථාවේදී ඔවුන් එලෙස පැවසු අතර ඉන් අනතුරුව සාක්කි විමසීම ආරම්භ කෙරිණි.

නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතීවිරෝධී බව සඳහන් කරමින් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ විනිසුරු මඩුල්ල මීට පෙර අවස්ථාවකදී මෙම නඩුව විභාග කිරීමට තීරණය කෙරිණි.

මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග කෙරේ.
 
2014 අප්‍රේල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ළඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56,  84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යනුකූල බලපත්‍ර නොමැතිව ළඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
 
ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.
 
එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘ඇවන්ට් ගාඞ්‘ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතු`ථ විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිවය.නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
 
පැමිණිල්ලේ සාක්කි විභාගය ආරම්භ කරමින් රියද් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතා සාක්කි දුන්නේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සාක්කි විභාගය කල් තබන ලදී.