තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 න් 8 ක් වසා දමයි


රෝවන් පෙරේරා 
 
තබ්බෝව ජලාශයේ විවෘත කල වාන් දොරටු 20 න් 8 ක් වසා දැමූ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 
අද අළුයම වාන් දොරටු විවෘත කිරීමෙන් තබ්බෝව 640 ජී පාවට්ටාමඩුව ග්‍රාම සේවා වසම සහ 640 ඩී තම්බපන්ති ග්‍රාම සේවා වසමේ පවුල් 40 ක සාමාජිකයින් 115 දෙනකු තබ්බෝව රජමහා විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා පැවසීය.
 
කරුවලගස්වැව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය මගින් මදුරුවන් පලවා හැරීම සඳහා දුමාරය ගැසීමද අද (25) සවස් කාලයේදී සිදු කෙරිණි.
 
640 ඩී ග්‍රාම නිලධාරීවරිය කඳවුරේ රැඳී සිටිමින් දිවා ආහාරය එම් ස්ථානයේ සකස් කරදීමට කටයුතු කළ බවත් කඳවුරේ සිටින පවුල් 40 සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු දිසාපතිතුමාගේ සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකරන බවත් 640 ඩී ග්‍රාම නිලධාරීවරිය පැවසීය.
 
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත ස්ථානයට සහ කඳවුරට කරුවලගස්වැව පොලිසිය ආරක්ෂාවට යොදා ඇත.රාත්‍රී කාලයේදී වැසි පතිත වුවහොත් වසා දැමූ දොරටු යලි විවෘත කරන බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පැවසීය.