හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට
තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද වනවිට සුවිශේෂී විහාරස්ථානයක් බවට පත්ව ඇතැයි ළමා හා කාන්තා ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද (28) ප්‍රකාශ කළාය.
විවිධ අභියෝග, දුෂ්කරතා සහ තර්ජනවලට ලක්ව තිබූ තන්තිරිමලේ රජමහා විහාරය සහ අවට ගම්මාන අද වනවිට සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන ඇතැයි ද අමාත්‍යවරිය පැවැසුවාය.
විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ‘තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ දෙවැනි දිනයේ විදුලි පහන් දැල්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය ඒ බව කීවාය.
තන්තිරිමලේ විහාරස්ථානය අද තිබෙන තත්ත්වයට ගෙන ඒමේදී හිටපු නායක ස්වාමීන් වහන්සේ මෙන්ම වත්මන් නායක ස්වාමීන් වහන්සේ සුවිශේෂී මෙහෙරවක් කර තිබෙනවා යැයි කී අමාත්‍යවරිය තන්තිරිමලේ විහාරස්ථානයේ සහ අවට ගම්මානවල දියුණුවට ලංකාදීප සහ විජය පුවත්පත් සමාගම විශාල දායකත්වයක් දී තිබෙන බව ද අමාත්‍යවරිය සිහිපත් කළාය.
එහිදි අදහස් දැක්වූ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙසේ ද කීවාය.
“තන්තිරිමලේ විහාරස්ථානය කොටි ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව තිබුණා. මේ ගම්මානවල වැසියෝ දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දුන්නා. විහාරස්ථානය අර්බුද රැසකට මුහුණ දුන්නා. එහෙත් අද වනවිට තන්තිරිමලේ රජමහා විහාරය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් ප්‍රකට විහාරස්ථානයක් බවට පත්ව තිබෙනවා. විදේශිකයන් නිරන්තරයෙන් පැමිණෙන විහාරස්ථානයක් බවට පත්ව තිබෙනවා.
හිටපු නායක හාමුදුරුවෝ මේ තන්තිරිමලේ විහාරස්ථානය මේ තැනට ගේන්න වගේම ගම්වාසීන්ගේ දියුණුව උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම අද වනවිට අපේ වත්මන් නායක හාමුදුරුවෝත් තන්තිරිමලේ රජමහා විහාරයේ උන්තියට වගේම අවට ගම් පෙදෙස්වල සහ ඔවුන්ගේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමකින් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා.
අපේ හිටපු නායක හාමුදුරුවෝ වගේම අපේ වත්මන් නායක හාමුදුරුවොත් ගම්වාසීන්ගේ ඕනෑ එපාකම් බලමින් කටයුතු කරමින් ඉන්නවා. උන්වහන්සේ ඉතාමත් ඕනෑකමින් ඒ කටයුතු කරනවා. අද වනවිට උන්වහන්සේගේ කැපවීම නිසා විහාරස්ථානයෙත් ගම්මානවලත් දියුණුවක් වී තිබෙන බව සඳහන් කළ යුතුයි.
එදා මේ විහාරස්ථානයට පැමිණෙන්න හරිහැටි පාරක්වත් තිබුණේ නෑ.
අද ඉන්දියාවේ සම්බෝධි සමාගමේ පිරිසක් ද මෙහි පැමිණ සිටිනවා. මේ දූත පිරිස හැම වර්ෂයකදීම අපේ රටට පැමිණෙනවා වගේම අපේ මේ තන්තිරිමලේ විහාරස්ථානයටත් පැමිණෙන බව අපට දැනගන්නට ලැබුණා.
මේ කටයුතුවලදී විජය පුවත්පත් සමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. විජය පුවත්පත් සමාගම වසර 15ක් තිස්සේ මේ ආලෝක පූජාව පවත්වාගෙන යමින් තන්තිරිමලේ විහාරයේ සහ අවට ගම්මානවලට මහඟු දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ නිසා ලංකාදීප ඇතුළු විජය පුවත්පත් සමාගමට, පොසොන් කමිටුවට සහ මේ කටයුතුවලට දායක වන සියලු දෙනාට කෘතඥතාව පළ කරන්න මා කැමැතියි”.