තංගල්ලේ ගැටුමකින් එක් අයෙකුට තුවාල


අනීෂා මානගේ, චන්ද්‍රසේන ගමගේ
 
ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය තංගල්ල රැකව ප්‍රදේශයේදී ආරම්භ කළ‍ කකුළු ව්‍යාපෘතියකට විරෝධය දැක්වු ප්‍රදේශවාසීන් හා ඊට සහය දැක්වු පිරිසක් අතර අද (14) ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 
 
මෙම ව්‍යාපෘතිය මිලියන 600ක වියදමින් ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්  නිමල් චන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
 
මෙම ව්‍යාපෘතිය රැකව ප්‍රදේශයේ ආරම්භ කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් උත්සව සභාව අසලට රැස් වී සිටියහ. එහිදී උත්සව සභාවේ සිටි පිරිස විරෝධතාකරුවන් දෙසට අලි වෙඩි හා රතිඤ්ඥා පත්තු කර දැමීම නිසා දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක් හට ගත්හ. 
 
මෙහිදී උත්සව සභාවේ සිටි පිරිස විරෝධතාකරුවන්ට පොලු වලින් පහර දීම් සිදු වූ අතර දෙපිරිස අතර ඇතිවූ ආරවුල දුරදිග යාම හේතුවෙන් විරෝධතාවයට සහභාගී වූ එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදු විය. 
 
පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව ගැටුම්කාරී තත්වය සමථයකට පත්විය.  තංගල්ල පොලිසිය මේ සම්බණ්ධයෙන්  පරික්ෂණ පවත්වයි.