( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2012 වසරේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා දමා ඔහුගේ රුසියා ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හතරදෙනකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා සළකා බැලීම ලබන ඔක්තෝබර් 15 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය.
මෙම අභියාචනා එස්.තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අතර එහිදී පෙත්සම් සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ විත්තිකාර අභියාචකයා බන්ධනාගාරය තුළදී දෙවතාවක් හෘදයාබාධයකට මුහුණදී තිබුණත් ඔහුට නිසි ප්‍රතිකාර ලැබී නොමැති බව කිය.
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන මෙන් බන්ධනාගාර බලධාරීන්ට නියම කරන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙහිදී විනිසුරුවරු සඳහන් කර සිටියේ නීතිපතිවරයාගේ ද සහාය ලබාගෙන මෙම කරුණ පිළිබඳව බන්ධනාගාර බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
2012 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා රාත්‍රියේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන්ට 4 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් වසර විස්සක් වගේ බරපතල සිරදඬුවම් නියම කළේය.
එම සිරදඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී බව පෙන්වාදෙන විත්තිකරුවන් එම දඬුවම් අහෝසි කර තමන් සියලූ චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ අතර විත්තිකරුවන්ට මහාධිකරණය මඟින් පනවා තිබෙන සිර දඬුවම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය ද ඊළඟ දිනයේ සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.