තංගල්ල ප්‍රා.සභාවේ හිටපු සභාපති රෝද පුටුවෙන් අධිකරණයට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට වරදකරු කරමින් තමන්ට පනවා ඇති වසර විස්සක සිරදඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා තංගල්ල ප්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ගොනු කළ අභියාචන පෙත්සම් විභාගය අද (12) කැඳවූ අවස්ථාවේදී හිටපු  සභාපතිවරයා රෝද පුටුවකින් කොළඹ අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය වෙතට පැමිණ සිටියේය.

 
ගිලන් රථයකින් උපරිමාධිකරණ සංකීර්ණය වෙත පැමිණි හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගයෙන් රෝද පුටුවක් මත නැග එම අභියාචන පෙත්සම් විභාගය සිදු කෙරෙන අභියාචනාධිකරණය වෙත ගියේය.
 
ඔහුට ඇති වූ හදිසි හදවත් රෝග තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝද පුටුවකින් පැමිණි බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
 
2011 වසරේ දෙසැම්බර් 25 වැනිදා තංගල්ල “ද නේචර් ” හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට මහාධිකරණයෙන් වසර 20ක සිර දඬුවමක් ලබා සිටින තංගල්ල ප්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකු වරදකරුවන් කළ අතර  නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම , අයුතු ජනරාශිය , මිනීමැරීම , ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනා එම අධි චෝදනා වලට අයත් විය.
 
මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු විනසුරු රෝහිනී වල්ගම මහත්මිය 2014 ජූලි 17 වැනිදා සිය තීන්දුව ප්‍රකාශ කරමින්  විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කෙරිණි.