(අනීෂා මානගේ, චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල නගරයේදී අද (10) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙළෙදසල් දෙකක තිබූ කඩු , විවිධ වර්ගයේ පිහි, සීඩී තැටි, ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සමඟ සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීහු සහ යුධ හමුදා නිලධාරීහු සමත්වූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. තංගල්ල නගරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගත්හ.
තංගල්ල මුහුදු මාවතෙහි පිහිටි ධීවර උපකරණ අලෙවි සළක් පරීක්ෂා කිරිමේදී එහි තිබී කඩු 09ක් , තියුණු පිහි 32ක් , මන්නා පිහි 36ක් , දුරේක්ෂයක්, කෙටේරි 02 , ඊයම් බරු අච්චු 03 , ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු ජංගම දුරකතන 03ක්, සීඩී තැටි 35 ක් සහ ඊයම් කැබැලි කිලෝ ග්‍රෑම් 11 ක් නාවික හමුදා නිලධාරීහු සිය අත්අඩංගුවට ගත්හ. මෙම වෙළෙදසැල සීල් තබා එහි අයිතිකරුද අත්අඩංගුවට ගැනිණි.
තංගල්ල තිස්ස ප්‍රධාන මාර්ගයේ තංගල්ල පාලම අසළ වෙළෙදසැලක තිබී කඩු පහක්, ගෝන අං තට්ටුවක්, සීඩී තැටි හතරක්, සැකකටයුතු දර්ශන අඩංගු ජංගම දුරකතන තුනක් යුධ හමුදා නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. මෙම අලෙවිසැලේ හිමිකරුද යුධ හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම වෙළෙදසැලේ බිත්තිවල අලවා තිබූ පුද්ගලයින් කිහිප දෙනකුගේ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් යුධ හමුදා නිලධාරීහු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පුපුරන ද්‍රව්‍ය පිළිබද නිල සුනඛ “බෙලා” යොදවා පුපුරණ ද්‍රව්‍ය පිළිබදවද පරීක්ෂණ සිදුකළේය.
නාවික හමුදාවේ තංගල්ල කඳවුරේ නිලධාරීහු, යුධ හමුදාවේ තංගල්ල විතාරන්දෙණිය කඳවුරේ නිලධාරීහු සහ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු මෙම මෙහෙයුමට එක්ව සිටියහ.






(අනීෂා මානගේ-ඡායාරූප)

