තංගල්ල නගර සභාව උණුසුම් වෙයි


(අනීෂා මානගේ)
තංගල්ල නගර සභාවට අයත්  කඩ කාමරයක් සඳහා  නීතිමය පියවර ගැනීමේ යෝජනාවක්  ඉදිරිපත් කිරීමෙන් පසු  එහි බදු ගිවිසුම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමේදී සභාපති  එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රී රවිඳු දිල්ෂාන් වෙදආරච්චි  මහතා සහ  එක්සත් ජනතා නිදහස් සන්ධනයේ හිටපු සභාපති අනිල් සෙල්ලාහැන්නදි  මහතා අතර අද(16) පැවැති සභාවාරයේදී බහින්බස් වීමක්  ඇති විය.

එස් . එක කඩ කාමරය සඳහා ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත කිරීමට විරෝධය දක්වමින් අනිල් සෙල්ලාහැන්නදි මහතා සභාවේ මන්ත්‍රීවරුන් අතර ඡන්ද විමසීමක් අවශ්‍ය බව ඉල්ලා සිටි අතර එය වැඩි ඡන්ද එකකින් පරාජයට පත්විය. 

එහිදී සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය ඉල්ලා සිටි අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. 

 එක්සත් ජාතික පක්ෂයේ එම්.එම්.ශිරාස්, ගනේෂ් ප්‍රියංකර මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණ සිටියේ නැත. පොදුජන පෙරමුණෙහි ගයාන් සමිද්ද, යද්දෙහිගේ ඩග්ලස්, ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. 

පොදුජන පෙරමුණෙහි විමල් හේවා දුනුවිල, කේ.එච් ගුණරත්න, ඩබ්.පී.ආරියදාස මන්ත්‍රීවරුන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අරලිය එරන්දිම මන්ත්‍රීවරයාද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.  

ජනතා විමුක්ති පෙරමුණෙහි පී.එල්.බී.ජයන්ත සහ චින්තක කැළුම් මන්ත්‍රීවරුන් දෙදෙනාද අද සභාවට පැමිණ සිටියේ නැත. පොදුජන පෙරමුණෙහි ලංකාදීපනි මුතුකුමාරණ මන්ත්‍රීවරිය ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියාය.  ඒ අනුව වැඩි ඡන්ද එකකින් යෝජනාව සම්මත වන බව සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා පැවසුවේය.  

නගරසභාවට අයත් එස් - එක කඩ කාමරය සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී විගණන ඡේද මගින් පෙන්වා දී ඇති ආකාරයට හා පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ ප.ප.ප. - ඊයූ - 07 ත.න.ස. කඩ කාමර අංක දරණ 2019.7.30 දින ලබා දී ඇති උපදෙස් අනුව එම කඩ කාමරය වෙනුවෙන් නගරසභා ආඥා පනතේ 227 වන වගන්තිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් ඊට අදාල වන සියලුම නීති වියදම් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගන්නා බවට  යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාවේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතා බහක් ඇති විය.