තංගල්ල ජාතික පාසලේ සිසුහු අඳුරේම ශිෂ්‍යත්වය ලියති


 (අනීෂා මානගේ)
 
තංගල්ල පිරිමි ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අද මුහුණදුන් දරුවන්ට අඳුරේම විභාගයට  මුහුණ දීමට  සිදුවූ බවට මවුපියෝ චෝදනා කරති.
 
අද පෙරවරු කාලයේදී  ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පැවැති අතර විභාග මධ්‍යස්ථානයේ  ශාලා දෙකක පිහිටි පන්ති කාමර කිහිපයකට විදුලි සැපයුම නොමැති වීම නිසා දරුවන් අඳුරෙම විභාගයට මුහුණ දුන් බව මවුපියෝ පැවසූහ. 
 
ඇතැම් ගුරුවරුන්ගේ දැනුම්දීම මත බැට්‍රිෙයන් ක්‍රියා කරන විදුලි පහන් විභාග ශාලා තුළට යැවූ බව ද අඳුරේම විභාගයට මුහුණ දීමට සිදුවීම නිසා තම දරුවන් අසීරුතාවට පත්වූ බව මව්වරු පැවසූහ.
 
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ මැදිහත්වීමෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ සහයෙන් පෙරවරු 10.15 ට පැවැති විවේක කාලය අතරතුරදී අඳුරේ පැවැති විභාග ශාලාවලට ආලෝකට සැපයීමට ක්‍රියාකළහ.