ඬේවිස් කුසලාන තරගාවලියට හර්ෂණගේ සහභාගීත්වය නෑ


ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්ති කර කලාපයේ 2වැනි කොටසේ තරගමාලාවේ තායිලන්තයට එරෙහිව පෙබරවාරී මස 10 වැනිදා කොළඹදී ආරම්භවන තරගාවලියට ජාතික ටෙනිස් ශූර හර්ෂණ ගොඩමාන්න සහභාගි නොවන බව වාර්තාවේ. ශ්‍රී ලංකාව දෙවැනි වරටත් 2 වැනි කොටස දක්වා ගෙනඒමට දායක වු ප‍්‍රබලම ක‍්‍රීඩකයා වන හර්ෂණ ගොඩමාන්න පසුගිය වසරේ පැවැති 3 වැනි කොටසේ තරගාවලියේදී රටවල් පහකට එරෙහිව තමන් සහභාගිවු සියලූ කේවළ ඉසව් ජය ගැනීමට සමත්විය. වසර 10 කට පසුව 2010 වසරේදී 2 වැනි කොටසේ ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකාව එහිදී පරාජය වීම නිසා නැවතත් 3 වැනි කොටසට වැටිණ. එහෙත් හර්ෂණගේ දස්කම් නිසා ලෙබනනය පරාජය කරමින් 3 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමත් සමග මෙම වසරේ 2 වැනි කොටසේ ක‍්‍රීඩා කිරීමේ වරම් ශී‍්‍ර ලංකාවට හිමිවිය. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන හර්ෂණ තායිලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියට සහභාගි නොවූවද දෙවැනි තරගාවලියට සිය සහභාගීත්වය ලබා දෙන බව පවසා ඇතැයි ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නිලධාරියකු ‘ලංකාදීපයට’ පැවසීය. හොං කොං රාජ්‍යය හෝ ඉන්දුනීසියාව අතර දෙවැනි තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග තරග වැදීමට නියමිතය. දෙවැනි තරගාවලිය අපේ‍්‍රල් මාසයේදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී කේවළ ඉසව්වට සහභාගි වෙමින් දස්කම් දැක්වු  ඕෂධ විජේමාන්නද තායිලන්තය සමග පැවැත්වෙන තරගාවලියට සහභාගි නොවන බව වාර්තාවේ. යුගල ඉසව්වේදී හර්ෂණගේ සහයකයා වන රජිව් රාජපක්‍ෂ ද තරගාවලියට සහභාගිවීමේ අවිනිශ්චිත තත්ත්වයක සිටියි. ඒ අනුව තායිලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල නැගීඑන කී‍්‍රඩකයන් වන දිනේෂ්කාන්තන් තන්ගරාජ්, විමුක්ත ද අල්විස්, අම්රිෂ් ජයවික‍්‍රම, නිසාන්ගන් නඩරාජ් සහ එම්. ඒ. සාකීර් යන ක‍්‍රීඩකයන් අතරින් තෝරා ගැනීමට නියමිතය. තායිලන්තය ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ 42 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 76 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව, තායිලන්තය, හොංකොං, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, සහ පිලිපීනය යන රටවල් අටක කණ්ඩායම් ඬේවිස් කුසලාන ආසියානු ශාන්ති කර කලාපයේ 2 වැනි කොටසේ තරගාවලියට සහභාගිවෙති. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලිය පෙබරවාරී මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණවලදී පැවැත්වේ.