ණය සහනදායක ආඥා පනත් කෙටුම්පත සංශෝධිත සහිතව සම්මත වීමෙන් අනතුරුව එම මණ්ඩලයේ සාමාජිකයින්ගේ සංඛ්‍යාව 11 දෙනකු දක්වා වැඩි කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
උකසට තබා හෝ පොරොන්දු සින්නක්කරයක් මත ගන්නා ලද ණය මුදලක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති වන ගැටළුවකදී අවශ්‍ය කරන නෛතික මෙහෙවර ඉටු කර දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ කාර්යයයි.
මීට පෙර මෙම මණ්ඩලයේ සිටි සාමාජිකයින් ගණන 05 ක් වන අතර මෙය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවකි.
හදිසි මුදල් අවශ්‍යතාවයකදී තම දේපළ උකස් හෝ පොරොන්දු සින්නක්කර ඔප්පුවක් මත ඇපයට බැද කවර පොලී අනුපාතයක් යටතේ වුවද කුමන කොන්දේසියක් මත හෝ මුදල් ලබා ගත් නමුත් නියමිත කාල සීමාවට පෙර මුදල් ගෙවා ඔප්පුව ආපසු පවරා ගැනීමට නොහැකිවීමෙන් ඉතා වටිනා දේපළ ඉඩ කඩම් ඉතා සුළු මුදලකට සින්න වු අවස්ථාවන්හි එයට සහනයක් සැලසීම මෙහි ප්‍රධානතම අරමුණ බව අමාත්‍යංශය පවසයි.
සිදුවන එම සේවාවන් තව දුරටත් ව්‍යාප්ත කරමින් මහජනතාවට ලබා දෙන සේවය පුළුල් කිරීමේ අරමුණින් ණය සහනදායී මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කර තිබේ.
පනත් කෙටුම්පතට අනුව එහි සාමාජිකයින් හත් දෙනකු මහාධිකරණ විනිසුරුවරයකු ලෙස හෝ දිසා අධිකරණ විනිසුරුවරයකු ලෙස විනිශ්චයකාර ධුරයක් ලබන හෝ දරා ඇති තැනැත්තන් හෝ නීතීඥවරයකු ලෙස අවුරුදු 15 කට නොඅඩු වෘත්තීය පළපුරුද්දක් සහිත පුද්ගලයන් විය යුතුය.
සාමාජිකයින් හතර දෙනකු නීතීඥවරයකු ලෙස අවුරුදු 10 කට නොඅඩු වෘත්තිය පළපුරුද්දක් සහිත හෝ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දීප ව්‍යාප්ත සේවයේ පළමු ශ්‍රේණියේ ධුරයක තනතුරක් දරන හෝ දැරූ තැනැත්තකු විය යුතුයි.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් මෙම දෙපාර්තමේන්තුව පිහිටා තිබුණ ද මේ තුළින් සේවාවන් ලබා ගැනීම සඳ හා සෑම දිස්ත්‍රික්කයකින්ම ජනතාව පැමිණෙන බව ණය සහන දායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් මෙම දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට සිදුවන සේවය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මුල් අධියර යටතේ නව ශාඛා මණ්ඩල පහක් පිහිටුවීමට මේ වන විට යෝජනා කර ඇති අතර, ඒ අනුව ගම්පහ ,කළුතර, මාතර ,
,රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා ණය සහනදායක මණ්ඩලයේ නව මණ්ඩල පිහිටුවීමට මේ වන විටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ණය සහන දායක මණ්ඩලය සදහා දෛනිකව ඉල්ලුම්පත් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් ලැබෙන අතර දිනකට ඉල්ලුම්පත් 20 ත් 30 ත් අතර සංඛ්‍යාවක් විමසීමට ගනු ලබන බවත් , 2018 වසර අවසානය වන විට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව තුළ නඩු 785 ක් විභාග වෙමින් පවතින බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පසුගියදා පාර්මේන්තුවට ඉදිරිපත් කළ මෙම ණය සහනදායක ආඥා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
(36698)