ණය කපා හැරි දිස්ත්‍රික්කවලට යළි ණය දීම නවතින හැඩ


විනීතා එම්  ගමගේ
 
රුපියල් ලක්ෂයට අඩු ණය කපා හරින බවට රජය විසින් නිවේදනය කරනු ලැබූ දිස්ත්‍රික්  12 හි, එම ප්‍රමාණයේ ණය ලබාදීම මූල්‍ය ආයතන විසින් නවත්වා ඇතැයි එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

 
එම ප්‍රදේශවල ජනතාව රුපියල් ලක්ෂයට අඩු ණය ලබා දෙන ලෙස ඉල්ලීම් කරන නමුත් රජය මේ සම්බන්ධව ස්ථිර පැහැදිලි කිරීමක් කරන තුරු තමන් එම ණය නිකුත් නොකරන බව මූල්‍ය සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල  දිස්ත්‍රික්ක 12 ක ජනතාව ලබාගත් රුපියල් ලක්ෂයට අඩු ණය මුදල් කපා හරින බවට රජය කළ ප්‍රකාශයක් සමඟම එම පළාත්වල ණය ගෙවීම් සියයට 30 ක් පමණ දක්වා අඩුවී ඇති බවත් එම සමාගම් පවත්වාගෙන යෑමේ ප්‍රශ්නයක් මතුවන බැවින් එවැනි ණය නිකුත් කිරීම නැවැත්වූ බවත් එම නිලධාරියා කීය.
 
ඇඳුම් මැසීම, කුඩා පරිමාණ ආහාර පාන වෙළඳ සැල්, ඇඳුම් මසන්නන් මල් වවන්නන්, කඩල වෙළෙන්දන්, කඩකෑම නිෂ්පාදනය කරන්නන් වැනි එදිනෙදා මුදල් සොයන කුඩා ව්‍යාපාරිකයින් මෙම ණය මුදල් ලබාගන්නා බවත් ඔවුන්ට මෙම ණය ලබාගැනීම ප්‍රශ්නයක් වී ඇති බව සැබෑ නමුත් මේ සම්බන්ධව රජයේ පැහැදිලි කිරීමක් සිදුවන තුරු ණය නොදීමට බොහෝ මූල්‍ය ආයතන තීරණය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
 
මෙම ප්‍රදේශවල ණය නිකුත් කරන  මූල්‍ය සමාගම් 43 ක් පවතින බව ඔහු වැඩි දුරටත් පැවැසීය.